හිත හොඳ වඳුරා


එක දවසක් කොටියෙක් කැලේ මැදින් යද්දි දැක්කලු වඳුරෙක් ගඟට පැනල මාලු අල්ලන් ඇවිල්ල උන්ව ගහක් උඩින් තියනව.

මේක දැකල අවුල් ගිය කොටිය වඳුරගෙන් ඇහුවලු " මොකක්ද ඔය කරන වැඩේ තේරුම ? " කියල.

එතකොට වඳුර පිලිතුරු දුන්නලු " මම මේ ගිලෙන්න යන මාලුන්ව බේරගන්නව " කියල.

අපි කරන සමහර සුබසාධක වැඩත් මේ වගේ තමයි. ලබන පුද්ගලයට කිසිම ප්‍රයෝජනයක් නෑ.




ගවලෙනක්


මීගමුව නගරයේ උත්තානවූ කිතුසමිඳු දෙව්මැදුර අසල නිවසක නිවැසියන් විසින්, නිවසේ තාප්පයට අල්ලා සාදා තිබූ ටිකක් වෙනස් විදිහක ගවලෙනක්.

ලස්සන නිසා කට්ටිය එක්ක බෙදාගන්න හිතුන.



ලිපියක් දාන්න තරම් විවේකයක් නෑ.

එහෙනම් හැමෝටම සාමය, සතුට හා ත්‍රාසය සපිරි සුබම සුබ නත්තලක් වේවා !  :) :) 

ඉන්න තැන මොකක්ද ?


එක් වයසක මනුස්සයෙක් , තමුන්ගෙ ජීවිත කාලයෙන් වැඩිහරියක් රැකියාව කලේ ලෝකෙ තියෙන ලස්සනම දූපතකලු. ඒත් ඔහු විශ්‍රාම ගියාට පස්සෙ ඔහුට සිද්දවුනාලු නැවතත් නගරයට යන්න. කලබලකාරී ඝෝශාකාරී නගරයට.


නගරයේදි හමුවුන එක පුද්ගලයෙක් මොහුට කිව්වලු " ලෝකයේම තියෙන ලස්සනම දූපතක් ලෙස සැලකෙන තැනක , ජීවිතයෙන් වැඩි කාලයක් ගතකිරීමට ලැබුන එක හරිම වාසනාවක් නේ .." කියල.

එවිට මහලු මිනිසා දුක්බරව කිව්වලු " හ්ම්ම් ... ඒ දූපත ඔච්චරම ප්‍රසිද්ද, අගනා එකක් කියල දැනගෙන හිටියනම්, මට ඊට වඩා ගොඩක් ඒ දූපතේ ලස්සන බලන්න තිබුන, රසය විඳින්න තිබුන. " කියල.

ලොතරැයි දිනුම


මෙකනං ටිකක් ප්‍රසිද්ද කතාවක් , අහපු අයත් ඇති, අහල නැති අය වෙනුවෙන් තමා ලියන්නෙ.

එක පූජකයෙක් හිටියලු , තමුන්ගෙ ජීවිත කාලෙම බොහොම භක්තියෙන් දෙවියන්ට සේවය කරපු. ඉතින් දවසක් මේ මනුස්සය හිතුවලු දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න කාලය හරි කියල.

ඉතින් ඔහු දෙවියන්න කන්නලව් කලාලු "දෙවියන් වහන්ස, මම අවුරුදු 30 ක් ඔබට සේවය කලා, මට ජීවිතයේ ඉතිරි කාලය විවේක සුවයෙන් ඉන්න මා හට ලොකු ලොතරැයි දිනුමක් ලැබෙන්නට සැලැස්සුව මැනව" කියල.

මේ ඉල්ලීම ඉශ්ට වෙයි කියල දැඩි චිශ්වාසයක් මොහුට තිබුනලු. ඔහු මේ ඉල්ලීම දිනපතාම දෙවියන්ට ඉදිරිපත් කලාලු. කාලය ගෙවිල අවුරුදු 3 ක් විතර  ගියාලු.

පූජකයත් දැන් බොහොම කලකිරීමෙන් ලු ඉන්නෙ. දවසක් ඔහු මේ ඉල්ලීම දෙවියන්ට කියමින් ඉද්දි , ජීවිතයේ ප්‍රථම වතාවට දෙවියන් වහන්සේ ඔහුට කතාකරාලු.

එතුමන් කිව්වලු " මෝඩයා .. ඉස්සෙල්ල ගිහිල්ල ලොතරැයියක් මිලට ගනිං " කියල.



ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි......







ඉස්කෝලෙ යන්න බෑ



මහලු පියා උදේ පාන්දර ඇවිල්ල තමුන්ගෙ පුතාව නින්දෙන් ඇහැරවනව ලු.

"පුතා .. අවදිවෙන්න, අවදිවෙන්න. "

ඇඳ උඩ වකුටු වෙලා ඉන්න පුතා කියනව ලු .. "මට අවදිවෙන්න ඕන නෑ තාත්තෙ.."

එතකොට තාත්ත කියනවලු, " අවදි වෙන්න , ඔබට ඉස්කෝලෙ යන්න තියෙනව."

පුතා කියනව ලු "මට ඉස්කෝලෙ යන්න උවමනාවක් නෑ.."

" ඒ මොකද ? " පියා හැහුවලු.

පුතා කියනවලු " එකක් තමා ඉස්කෝලෙ හරිම නීරසයි, අනික ඉන්න අනික් ළමයි ඔක්කොම මට විහිලු කරනව , ඊටත් වඩා මම ඉස්කෝලෙට වෛරකරනව" කිව්වලු.

එතකොට පියා කියනවලු " උඹ ඉස්කෝලෙට යන්න ඕන හේතු තුනක් මම කියන්නම්. එකක් තමා ඒක උඹේ රාජකාරිය. අනික් හේතුව තමා උඹට දැන් වයස අවුරුදු 45 ක් වීම, අවසාන හේතුව තමා උඹ තමා ඉස්කෝලෙ විදුහල්පති."



Therefore, stay awake, for you do not know on what day your Lord is coming. - Matthew 24:42





දුම්රියෙන් පැනීම


මුතුකුමාරි සීග්‍රගාමී දුම්රියට නැගපු තරුණයෙක් රියදුරාට කිව්වලු "මම බහින්නෙ කැළණියෙන් " කියල. රියදුරා කිව්වලු "බොහොම කනගාටුයි මල්ලි, අපි කැළණියෙ නවත්තන්නෙ නෑ .. හැබැයි මට පොඩි උදව්වක් කරන්න පුලුවන් "

තරුනය ඇහුවලු "ඒ මොකක්ද ?" කියල.

රියදුරා කිව්වලු "මම කැළණියෙදි දුම්රියේ වේගය අඩු කරන්නම්. ඔයා දුම්රියෙන් පනින්න. හැබැයි පැනල දුම්රිය යන පැත්තටම දුවන් යන්න ඕනෙ, නැත්නම් ඔයාව වැටෙන්න පුලුවන්" කියල.

තරුණය මේකට බොහොම කැමති වුනාලු.

පොරොන්දු පරිදිම කැළනියේදි දුම්රියේ වේගය බාල කලාලු, තරුණය දුම්රියෙන් පැනල ටික දුරක් දුම්රිය සමග සමාන්තරව ඉදිරියට දුවගෙන ගියාලු සමබරතාවය තියා ගන්න.

මේක දැකපු පිටිපස්සෙ පෙට්ටියෙ හිටපු මනුස්සයෙක් දුම්රිය සමග සමාන්තරව දුවමින් හිටපු තරුනයගෙ කරෙන් අල්ලල , දුම්රියේ දොරෙන් දුම්රිය ඇතුලට ඇදල ගත්ත ලු.


ඊටපස්සෙ ඒ මනුස්සය අර තරුණයට කිව්වලු " මල්ලි හරි වාසනාවන්තයි, වෙනදට මේ දුම්රිය කැළණියෙ නවත්වන්නෙ නෑ " කියල.









මොඩර්න් ට්‍රෙන්ඩ්ස්



අපේ භූමිය .. අපේ මායිම.. තබමි අප උතුමන්ගෙ පිලිරුව..
තොපට පමනද, අපිද කල හැක.. තබමි තව උතුමෙකුව ඒ ලඟ ..


සිටියි උතුමන් සමගියෙන් ලඟ
රත් වෙමින් දඟලයි දෙපිල කැළ


තබා මැටිකඳු දෙකක් එක ලඟ..
මරා ගනිමුද මිනිස් ජාතිය..



නොවැටහී ඇත ඔබ දහම අද
හඬයි දුටුවොත් මේ අමන කැළ..




"සමතලා කරමි මම මේ ගල් පල්ලි, තනමි එය ඔබ හදවතේ දින තුනෙන් " - ජේසුස් වහන්සේ

දෙවියන්ව සෙව්වාද ?


දවසක් තාත්ත කෙනෙක් තමුන්ගෙ පුතාට කතා කරල ලුනු කැට ටිකක් දීල කිව්වලු "මේ ලුනු ටික ගිහිල්ල භාජනේකට දාල දිය කරන්න. " කියල.

ඉතින් පුතා එහෙම කරාලු.

පහුවදා තාත්ත කතාකරල කිව්වලු " පුතේ , අර ඊයෙ දීපු ලුනු ටික අරන් එන්න" කියල.

පුතා කිව්වලු "ඒ ලුනු හොයන්න නෑනෙ. ඔක්කොමටික වතුරෙ දියවෙලා " කියල.

එතකොට තාත්ත කිව්වලු " හොඳයි, එහෙනන් ඒ භාජනේ එක අයිනකින් වතුරේ රස බලන්න" කියල. පුතා රස බලල කිව්වලු "ලුනු රසයි" කියල.

තාත්ත ආයෙ කිව්වලු " හොඳයි, එහෙනන් භාජනේ මැද හරියෙන් වතුරේ රස බලන්න" කියල. පුතා රස බලල කිව්වලු "ලුනු රසයි" කියල.

තාත්ත කිව්වලු "පුතා , දෙවියන් වහන්සේත් මේ වගේමයි, වෙනම හෙව්ව්වට අත්දකින්න බෑ, මොකද එතුමන් ඉන්නේ අප අතරමයි" කියල.


පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello

විහිලු කතාවක්


දවසක් බිරිඳ ගෙදර එන්න වෙනදට වඩා ටිකක් පරක්කු වුනාලු. හෙමින් අඩි තියමින් නිදන කාමරයට ඈ ආපු ගමන් දැක්කලු ඇඳේ පොරෝනයට යටින් කකුල් සතරක් එලියට ඇවිල්ල තියෙනව.

දැඩි කෝපයට පත් කාන්තාව, ලොකු පොල්ලක් අරගෙන තම උපරිම ශක්තිය යොදල අර පොරෝනයට පහර දීගෙන දීගෙන ගියාලු.

විඩාව සහ මානසික පීඩනය නිසා ඇය කුස්සිය දෙසට ගියාලු මොනව හරි බොන්න. එවිට ඇය දුටුවාලු තමුන්ගේ සැමියා පත්තරයක් බලමින් පුටුවක් උඩ ඉන්නව.

බිරිඳ දෙස බලපු සැමිය ඇහුවලු " ආ ... ඩාලිං. ඔයාගෙ අම්මල අපිව බලන්න ආව, ඉතිං මම කිව්ව ඒ අයට අපේ ඇඳේ නිදාගන්න කියල, ඔයාට එයාලව මුනගැහුනද ? "

කතාවේ ආදර්ශය : "  සැමවිටම ඔබගේ සැමියා විශ්වාස කරන්න ""


( මෙය හුදෙක් විනෝදය සඳහා ලියූවක් මිස, මාවෙත එල්ල වන විවාහ පීඩනයට මෙම කතාවේ කිසිඳු සම්භන්දයක් නොමැති බව මා ප්‍රියාවිය වෙත දන්වා සිටිමි. :)  )



ඊ ලිපියක දුටු කතාවකි


නිවසට පැමිනි හිඟන්නා


එක්තරා ධාර්මික මනුස්සයෙක්ගෙ ගෙදරට මහලු හිඟන්නෙක් ආවලු. හිඟන්නා ගැන අනුකම්පා හිතුන මිනිහ, තමුන් එක්ක රෑ කෑම ගන්න එන්න කියල හිඟන්නට ආරාධනා කලා ලු.

මේ හිඟන්න ආපු වෙලේ ඉඳන් දෙවියන් වහන්සේට බනිනවලු, තමන්ට නොදුන් දේ ගැන දෙවියන්ට සාප කරනවලු.

දෙවියන්ට ගොඩක් ආදරේ කරපු ගෙහිමියට මේ මනුස්සයගෙ හැසිරීම නිසා ඔහුව එපා වුනාලු. ඔහු හිඟන්නාට කෑම නොදීම , ඔහුව එලවල දැම්මලු.

එදා රාත්‍රියේ , මේ ධාර්මික මනුස්සයට පලමු වතාවට දෙවියන් වහන්සේ කතා කලාලු. කතා කරල කිව්වලු
"අර මනුස්සය මට අපහස කරද්දිත්, මට සාප කරද්දිත්, අවුරුදු පනහක් පුරාවට මම ඔහුට හෑමදාම කන්න්න දුන්න, ඔබට බැරිවුනා ඔහුට එක වේලක් කන්න දෙන්න.. " කියල.


පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello




දුව සහ පුතා


දවසක් කාන්තාවන් දෙන්නෙක් ගොඩ කාලෙකින් මුන ගැහුනලු. පලමු කාන්තාව ඇහුවලු " පුතා බැන්ද නේ ? දැන් කොහොමද පුතාට ?"   කියල.

මූන අඳුරු කරගත්තු අනික් කාන්තාව පිලිතුරු දුන්නලු " හරිම කරදරේක නෙ මගෙ පුතා වැටුනෙ, ඒ බැන්ද ගෑනි උයන්නෙ නෑ, ගේ සුද්ද කරන්නෙ නෑ, රෙදි හෝදන්නෙ නෑ.. දවසම නිදාගන්නව. 
කොටින්ම මගේ අසරන පුතාට තමයි උදේ කෑම එක පවා හදල ඒ ගෑනිට කන්න දෙන්න වෙලා තියෙන්නෙ"  කියල.


මේ අඳෝනාව අහපු කලින් ගෑනුකෙනාම ඇහුවලු " එතකොට දුව "

එතකොට අර ගෑනුකෙනාම පිලිතුරු දුන්නලු " අනේ .. දුවට නං හම්බෙලා තියෙන්නෙ රත්තරං මහත්තයෙක්. ඒ ළමය ගේ සුද්ද කරනව, රෙදිත් හෝදල දෙනව, කොටිම්ම උයල කෑම එක දුවගෙ ලඟට ගෙනල්ලම දෙනව. මගෙ දුව නං හරිම වාසනාවන්තයි" කිව්වලු.



පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello

අපිට ඇති කරදර


ජේසුස් වහන්සේගේ වචන, ශු.බයිබලයෙන් උපුටාගැනීමකි.

" එහෙයින් මම ඔබට කියමි: කුමක් කමුද, කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න.කෑමට වඩා ජීවිතයද , ඇඳුමට වඩා ශරීරයද අගනේ නොවේද ?

අහසේ කුරුල්ලන් දෙස බලන්න.උන් වපුරන්නේවත්, කපන්නේවත්, අටුවල රැස්කරන්නේවත් නැත. එහෙත් ඔබේ ස්වර්ගීය පියානන් වහන්සේ උන් පෝශනය කරන සේක.ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නොවේද ?

කරදර වීමෙන් තමාගෙ ආයු ප්‍රමානය දික්කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුලුවන්ද ?


ඔබේ ඇඳුම් ගැන කරදර වන්නේ කුමටද ? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටිනේවත් නැත. එහෙත් සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමොන් වුවද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේයැයි මම ඔබට කියමි.


ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උඳුනේ දමන කෙතේ තණකොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක්නම්, ඊට කොපමන වැඩියෙන් උන්වහන්සේ ඔබ නොසරසන සේක්ද?

එබැවින් කුමක් කමුද, කුමක් බොමුද, කුමක් අඳිමුද, කියමින් කරදර නොවන්න. විජාතීන් සැමවිටම සොයන්නේ මේවාමය. මේවා ඔබට ඕනැබව ඔබේ ස්වර්ගීය පියානන් වහන්සේ දන්නාසේක,

එහෙත් පලමුකොට උන්වහන්සේගේ රාජ්්යද,ධර්මිෂ්ටකමද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනුලැබේ.

එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ.- එක දවසක කරදර වලට තව කරදර එකතු නොකරන්න. "

(මතෙව් 6:25-34)





මම අමුත්තෙක්




ශිෂ්‍යයෙක් තමුන්ගේ ගුරුතුමාව මුනගැහෙන්න ඔහුගේ ගෙදරට ගියාලු. ගෙදර හැමතැනම තිබ්බෙ පොත් ලු. එකම එක මේසෙකුයි පුටුවකුයි තිබ්බලු. වෙන කිසිම දෙයක් ගෙදර තිබ්බෙ නෑලු.

ඉතින් මේ  ශිෂ්‍යයා ගුරුතුමාගෙන් ඇහුවලු " කෝ ගුරුතුමනි ගෙදර ගෘහ භාන්ඩ ?" කියල.

ගුරුතුමා ඇහුවලු " කෝ ඔබගේ ගෘහ භාන්ඩ ?" කියල.

ශිෂ්‍යයා පිලිතුරු දුන්නලු " ගුරුතුමනි,  මම මේ ගෙදරට ඇවිල්ල යන්න ආපු අමුත්තෙක් පමනයි" කියල.

එතකොට ගුරුතුමා කිව්වලු "මමත් එහෙමමයි " කියල.


පරිවර්තනයට උපුටා ගැනීම : http://www.spiritual-short-stories.com/spiritual-short-story-71-Only+A+Visitor.html

තක්කාලි නරක් වෙලාද ?



දවසක් වයසක කාන්තාවක් සුපිරි වෙලඳසැලක තක්කාලි තොගයක් තෝරමින් ඉන්නවලු. බිම තියල තිබ්බ තක්කාලි කූඩෙට නැමීගෙන තක්කාලි තෝර තෝර ඉද්දි මේ
කාන්තාවට ආවලු පිටකොන්ද දිගේ දැඩි වේදනාවක්.

දැන් මේ කාන්තාවට හෙලවෙන්න අපහසුයි ලු. උන්නු විදිහටම නැමීගෙනම ඉන්නවලු තක්කාලි කූඩෙ ලඟ.


මේ කාන්තාව කිට්ටුවට ආපු වෙලඳසැල් හිමියා කිව්වලු " නෝන , තක්කාලි පරණයි කියල හිතෙනවනන්, එහාපැත්තෙ තියෙනව අලුත් අර්තාපල් " කියල.

අපිත් ගොඩක් වෙලාවට අනික් අයට ප්‍රතිචාර දක්වන්නේ , අපගේ උපකල්පන මත ඉඳගෙන මිසක් , අනික් කෙනාගේ සැබෑ තත්වය තේරුම් අරන් නෙමේ නේද ?



පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello

මැරුණ පුතා


කලබලකාරී නගර මධ්‍යය, ගිණිගහන දවාලේ
මිනිසුන් පිරිලා එක තැනක. සිද්දිය බලන්න හැමෝම පොරකනව. කියනව ඇහෙනව " හැප්පිලා" , "මැරිල" , "පාර පනිද්දි නෙ වෙලා තියෙන්නෙ" , "පව් වැඩේ .."

මේ වෙලාවෙ මෙතනින් යනව පත්තර වාර්තාකරුවෙක්. ඔහු හිතනව "ෂා .. මරු නිව්ස් එක, කොහොමහරි ෆොටෝ එකක් ගන්න ඕන." ඒත් කොහෙ කිට්ටු කරන්නද. මිනිස්සු පොරකනව.

මිනිහට ආව හොඳ අදහසක්. කෑගහල දුකඳෝනාවක් තියන්න ගත්ත. "අනේ මගේ පුතා.. මගේ පුතා තමයි හැප්පිලා තියෙන්නෙ..".

මිනිස්සු ක්ශනිකව ඉඩදුන්න මේ මනුස්සයට. ඔහු සෙනඟ අතරින් ඉදිරියටම ගියා.
ලේ විලක් මැද මැරිල වැටිල උන්න තඩි බූරුවෙක්.



අපේ ජීවිතෙත් මෙහෙම දේවල් වෙනව සමහර වෙලාවට. ලබාගන්න ආසාවෙන් පොරකාගෙන, බොරු කියාගෙන, අනික් අය පාගගෙන, ලබාගන්න දඟලන පෙලක් දේවල් මහ පුස් දේවල්. ඒක පුස්සක් බව කලින්ම දකින්න පුලුවන් නං කොච්චර ලේසිද ?



පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello
පොත ගැන දැනගත්තෙ මෙතනින්

නැන්දම්මා සහ ලේලිය

සැමියා : මට අද අම්ම කතා කලා. අම්ම හෙට පාන්දර 4 ට ස්ටේශන් එකට එනව කිව්ව.

බිරිඳ : ආ.. එයා අන්තිමට ආවෙ මාස 4 කට විතර කලින් නේද ? හෙට ඉරිද නිසා මම ටිකක් දවල් වෙනකන් නිදාගන්න හිතන් උන්නෙ, ඒත් දැන් ඔයාලගෙ අම්ම එනවලු, ඊටත් හපන් පාන්දර 4 ට. අනික  ටැක්සියක්වත් කොහෙන්ද අනේ හොයා ගන්නෙ ඔය වෙලාවට.

සැමියා : ම්ම්.. අපේ අම්ම නෙමේ අනේ එනව කිව්වෙ. ඔයාලගෙ අම්ම.

බිරිඳ : අනේ... අම්ම එනවද ? දැං මාස දෙකකටත් වැඩියි මම අම්මව අන්තිමට දැකල. අහන්නකො අනේ.. මම දන්න ටැක්සි කාරයෙක් ඉන්නව, මම එයාට කෝල් කරල කියන්නන් හෙට උදේට ස්ටේශමට යන්න කියල. හෙට ඉරිද හින්ද අම්ම එන එක හොඳයි, ළමයිනුත් ගෙදර නෙ. එයාලට ඒගොල්ලොන්ගෙ ආච්චි එක්ක සෙල්ලං කරන්නත් පුලුවන්..

අහිමිවුනු ඇඟිල්ල


දවසක් රජ කෙනෙක් තමුන්ගේ වහලෙකුත් සමග මුව දඩයමේ ගියාලු. කැලේ මැදදි මේ දෙන්නට කැලේ හිටපු දරුණු කොටියෙක් පහර දුන්නලු. දෙන්නම කොටියත් එක්ක පොරබදල කොහොම හරි කොටියව මරල දැම්මලු. නමුත් සටන අවසානයේදි රජතුමාගෙ එක ඇඟිල්ලක් අහිමි වෙලා තිබ්බලු.

මේක දැකල කලකිරීමට පත්වුන රජතුමා දෙවියන්ට මැසිවිලි තියන්න ගත්තලු " අහෝ, දෙවියනි.. ඔබ මගේ ඇඟිල්ලක් අහිමි කෙරෙව්ව, ඇයි ඔබ එහෙම කලේ .. ? " ආදී වශයෙන්.

දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුන වහලා කිව්වලු, "එහෙම කියන්න එපා රජතුමනි, අප ජීවත් වන එක ගැන දෙවියන්ට අප ස්තූතිවන්ත විය යුතුයි.." කියල. තමන්ගේ වහලාගේ මේ එකට එක කීමෙන් දැඩි කෝපයට පත් රජතුමා නියෝගකලාලු වහලාව සිරගත කරන්න.

තව දවසක් රජතුමා දඩයමේ යද්දි , දරුනු මිනීමරු වනචාරීන් රැලකට අහුවුනාලු. මොවුන් මිනිසුන්ව බිලිපූජා වලට යොදාගන්නා ගෝත්‍රයක් ලු. රජතුමා දෙස හොඳින් බලපු ගෝත්‍රික නායකය, රජතුමාගේ ඇඟිල්ලක් අඩු බව දැක්කලු. තමන් බිලි පූජාවට යොදාගන්නේ සම්පූර්න මිනිසුන් පමනක් නිසා , මොවුන් රජතුමාව නිදහස් කරාලු.

මේ සිද්දියෙන් කම්පනයට පත් රජතුමා කෙලිම්ම ආවලු, හිරේ ඉන්න අර වහලාව හම්බෙන්න. ඇවිත් කිව්වලු, "දෙවියන් වහන්සේ මාගේ ඇඟිල්ලක් අහිමි කර ජීවිතය බේරා දුන්නා, නමුත් එතුමන් ඔබව නිකරුනේ බොහෝ කාලයක් හිරේ තැබුවා. ඒ ඇයි ? " කියල.

වහලා කිව්වලු, " ඒ එය එසේ නොවුනානම්, මමද ඔබ සමග දඩයමේ ගොස් , වනචාරීන්ගේ බිලීපූජාව මම වීමට ඉඩ තිබුනු නිසා .."  කියල.


අනාගතය කුමක් වේදැයි කිසිවෙකු නොදනී, අද සිනහව හෙට කඳුලට ද, අද කඳුල හෙට දින සිනහවටද හේතුවිය හැක.


පරිවර්තනයට උපුටා ගැනීම මෙතනින්


පොට්ට මුවා


එක කැලෑවක හිටියලු පොට්ට මුවෙක්. පොට්ටයි කිව්වට මුගෙ එක ඇහැක් තමාලු පේන්නෙ නැත්තෙ. ඒ කියන්නෙ පේන්නෙ එක පැත්තක් විතරයි. මොකද මුවන්ගෙ ඇස් තියෙන්නෙ මූනෙ දෙපැත්තට වෙන්නනෙ.

ඉතින් දඩයක් කාරයොන්ගෙන් බේරෙන එක ලොකු ප්‍රශ්නයක් වුනාලු මේ මුවාට. මේකෙන් බේරෙන්න මුවා කරන්නෙ, තණකොල කන්න යනවලු මුහුද අයිනෙ තියෙන ප්‍රපාතයක් අයිනට. තමුන්ගෙ හොඳ ඇහැ තණ පිට්ටනිය පැත්තට හිටින්න හිටගන්නවලු. දිගටම තණකොළ කන්නෙ මේ දිශාවට ඉඳගෙන ලු. මොකද එන දඩයක්කාරයෙක් එන්නෙ තණ පිට්ටනිය පැත්තෙන් නිසා.

එන කෙනෙක්ව එද්දි පේනව. පැනගන්න පුලුවන්.

කොහොම හරි මුව දඩයමේ එන දඩයක්කාරයෙක් මේ රහස දැනගත්තලු. මිනිහ බෝට්ටුවකින් මුහුද පැත්තෙන් මුවා කිට්ටුවටම ගිහිල්ල ගිහිල්ල, බොහොම ලේසියෙම්ම මුවාව දඩයම් කරගත්තලු.

ජීවත් වෙන්න මොන දේ කලත්,මොන සෙල්ලම දැම්මත්, කවද හරි හැම කෙනෙක්ම මැරෙනව...

" නියමිත මොහොත කවදාදැයි ඔබ නොදන්නා බැවින්, අවදිව ඉන්න. "   (මාක් 13:33)


sinhala-catholic.blogspot.com
උපුටාගැනීම : 100 Moral Stories by Akramulla Syed

පව්කාරියට ගල් ගැසීම.


මේකත් ජේසුස් වහන්සේගේ ජීවිතේ සිද්දවුනු පොඩි සිදුවීමක්. මේ කතාව හැම කතෝළිකයෙක්ම දන්නව. නමුත් අපේ උදවියට ජීවත්වෙද්දි මේ ඉගැන්වීම් අමතකවීමේ සොභාවයක් තියෙන නිසා බ්ලොග් එකේ ලියන්න හිතුන.

ජේසු තමුන්ගෙ පාඩුවෙ නිස්කලංකව ඉන්න වෙලාවක, ජුදා පූජකයො පිරිසක් වරදෙහි හැසිරෙමින් ඉන්නවිටම අල්ලාගත් ගණිකාවක් අරගෙන එනව ජේසු ගාවට. ආගමික නීතිය අනුව දඬුවම ගල්ගසා මැරීම.

පූජකයො ජේසුගෙන් අහනව , " මැය කාමමිත්්යාචාරය කරද්දීම අසුවුන කෙනෙක්, අපි ගල් ගසා මැය මරා දැමීම නේ කල යුත්තේ ? " කියල.


එතකොට ජේසු කියනව " ඔබ අතරින් පවක් නොමැති තැනැත්තා පලමු ගල ගසන්න. " කියල.

ගල්ගහන්න ආපු කට්ටියගෙන් එකා එකා හෙමීට එතනින් මාරුවෙනව.

අන්තිමේ ඉතුරු වෙන්නෙ ජේසුයි අර ගෑනුකෙනයි විතරයි.

ජේසු අහනව , " ස්ත්‍රීය , ඔවුන් කොහේද? කිසිවෙකු ඔබට වරද තැබුවේ නැද්ද ? " කිය.

ගෑණු කෙනා කියනව " නැත ස්වාමිනී " කියල.

ජේසු කියනව " මමද ඔබපිට වරද නොතබමි, යන්න ,  මින්පසු පව් නොකරන්න " කියල.

ඉතින් ලෝකෙ ඉන්න අනික් හැම එකාටම ගල් ගහන්න බලන් ඉන්න අපේ උදවියටත් කියන්න තියෙන්නෙ, අනුන්ගේ වැරදි හොයන්න ඉස්සර, තමුන්ගේ හෘදසාක්ශියේ, ආධ්්යාත්මක ගවේශනයක් කරල බලන්න කියලයි.

මේ සිදුවීමේ අපූරු ප්‍රතිනිර්මානයක් හම්බුනා YouTube  එකෙන්. අනිවා බලන්න.




ලොව පැරණිතම ක්‍රිස්තියානි දේවස්ථානයක්



ගෘහනිර්මාණ ලක්ෂන අනුව 4 වන සියවසට හෝ පෙර කාළයට අයත් යැයි සැක කරන මෙම දේවස්ථානය දැනට හමුව ඇති  ලොව පැරණිතම ක්‍රිස්තියානි දේවස්ථානය යැයි මතයක් පවතී.

1980 ගනන් වලදී අහම්බෙන් සොයාගන්නා ලද්දකි. සෞදිඅරාබියේ ජුබාලි (Jubali) නම් නගරයේ පිහිටා ඇත.
සොයාගන්නා අවස්ථාවේ ගල් කුරුස 4 ක් තිබූ බව පැවසුනද, ටික කලකින් ඒවා අතුරුදන්ව  ඇත.
මෙහි තවමත් නිසි ගවේශනයක් සිදුව නොමැත. ඒ සෞදිඅරාබියේ රජය අනුගමනය කරන දැඩි ආගමික ප්‍රතිපත්ති හේතුවෙන්, කිසිඳු ගවේශකයෙකුට ඇතුල්විය නොහැකි රක්ශිතයක් බවට මෙම ප්‍රදේශය පත්කර ඇති නිසාය.

හමුවූ මුල්කාලයේදී පිටවූ ඡායාරූප කීපයක් පමනක් අද ලෝකයට ඉතිරිව ඇත.




Wikipedia Link
මම උස්සපු තැන

කරවුන රොටී

තවත් එක දවසක, රාත්‍රී ආහාරයයට කට්ටිය සූදානම් වුනාලු.
කන්න තියෙන්නෙ පොල් රොටියි ලුණුමිරිසුයි.
අම්ම රොටි ටික ගෙනල්ල මේසෙට තිබ්බලු.
ම්ම්.. රොටි ටික ටිකක් වැඩිපුර කරවෙලාලු. කනකොට පොඩ්ඩක් තිත්තයිලු.
තාත්ත කිසි හැලහොල්මානක් නැතුව රොටිය කෑවලු.
තාත්ත මොකුත් නොකිව්ව නිසා ළමයි දෙන්නත් අදහස් දැක්වීමෙන් වැලකී සිටියලු.
රෑ පොඩි දුවට ඇහුනලු අම්මයි තාත්තයි කතාකරනව.
අම්ම කනගාටුව ප්‍රකාශකරන ස්වරයෙන් කිව්වලු " අද රොටි ටිකල් වැඩිපුර කරවෙලා තිබ්බ නේ ? " තාත්ත උත්තර දුන්නලු " කමක්නෑ.. කරවෙච්ච රොටි වලට මම කැමතියි. " කියල.

පහුවදා උදේ ඉස්කෝලෙට යනගමන් දුව තාත්තගෙන් ඇහුවලු, " තාත්තෙ , ඇත්තටම කරවෙච්ච රොටි කන්න තාත්ත ආසයිද ? " කියල.
තාත්ත හිනාවෙලා කිව්වලු " ඔයාලගෙ අම්ම දවසම ගෙදර වැඩ මහන්සිවෙලා කරල තමා රෑ කෑම හදන්නෙ, අනික දවසක් කරවෙච්ච රොටියක් කෑව කියල කාටවත් හානියක් නෑ ..." කියල.

ඊ ලිපියක දැක්ක කතාවකි

http://sinhala-catholic.blogspot.com

දුරාචාර ස්ත්‍රීයගේ මායම්

අද සමාජයේ සුලබ දෙයක් දුරාචාරය. මේක කරන බොහෝ දෙනා ඒගැන කතා කරන්නෙ තමුන් කරන්නේ වීරක්‍රියාවක් කියන හැඟීමෙන්. ඒ කතා අහන අනික් අය ඒ වගේ වීරක්‍රියාවකට තමුන්ට අවස්තාවක් නොලැබීම ගැන පසුතැවෙනව. තව කොටසක් අවස්තාවක් හොයනව.
පහතින් තියෙන්නෙ මේ විශය ගැන ශු.බයිබලේ හිතෝපදේශ කියන පොතේ සඳහන් කොටසක්. ආරම්භයේ මවාපාන සුන්දර රසයත්,නොදැනීම වරදට අසුවන ආකාරයත්, අවසානයේ අත්වන ඛේදනීය ඉරනමත් අපූරුවට විස්තර කරල තියෙනව.

දුරාචාර ස්ත්‍රීයගේ මායම්

එක දිනක් මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි.
එවිට අනුවනයන් අතර මෝඩ තරුණයෙකු සිටිනු දුටිමි.
ඔහු අඳුර වැටෙද්දී, ගොම්මං වේලාවේදී , මැදියන් රෑ කළුවරෙහිදී
ඇගේ ගේ අද්දර පසුකොට, ඇගේ ගෙට යන මාවතෙහි ගමන් කලේය.
එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර ඇඳ, රැවටිලිකාර ස්ත්‍රීයක මෙන් ඔහුට මුණගැසුනාය.
ඈ අඟර දඟර කරන චපල ස්ත්‍රීයකි. ඈ කොයිවෙලාවෙත් ගෙදර නැත.
විටෙක ඈ වීදි වලද, විටෙක වෙළඳපොලේද, සෑම මංසංදියකද සෝදිසියෙන් බලා සිටියි.
මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විලිලැජ්ජා නැතිව, ඔහුට මෙසේ කීවාය.
මම අද මාගේ පුද පූජා පැවැත්වුවෙමි.  බාරහාර ඉෂ්ට කළෙමි.  ඔබ හමුවන පිනිස ආශාවෙන් ඔබ සොයා ආවේ ඒ නිසාය.දැන් ඉතින් ඔබ මට හමුවිය.
මිසරයේ පාට පාට නූල්වලින් කල විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත.
සුවඳ ලාටු වලින්ද, අගිල් වලින්ද, කුරුඳු වලින්ද, මාගේ යහනට සුවඳ කැවූයෙමි.
එන්න , උදය වනතුරු පෙම් බඳුනෙන් බොමු.
ආදරයෙන් මත්වෙමු.  අද මාගේ පුරුෂයා ගෙදර නැත; ඔහු දුර ඈත ගමනක් ගොස් ඇත.
ඔහු බොහෝ මුදල් රැගෙන ගියේය. මහ පෝය වනතුරු ඔහු ගෙදර එන්නේ නැත. "
ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගනී.
එකෙනෙහිම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන්ද,
මළපුඩුවට දුවන මුවකු මෙන්ද,
උගුලට වහා පියඹා යන පක්ෂියෙකු මෙන්ද, ඇය කැටුව ගියේය.
ඊගස ඔහුගේ අක්මාව විදගෙන යනතුරු,
තමන් අනතුරෙහි සිටින බව ඔහු නොදත්තේය.
එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න.  මා පවසන ඔවා බසට අවධානය යොමු කරන්න.
ඈගේ මාවත්වල යාමට ඔබගේ සිත නොපෙළඹේවා!
ඇගේ මාර්ගවල මංමුලා නොවන.  බොහෝ දෙනෙක් ඇගෙන් නාස්තියට පත්වූහ.
ඈ නිසා විපතට පත්වූහ.
ඈ නිසා විපතට පත්වූ ගණන් විශාලය.
ඇගේ නිවස පාතාලයට යන මඟය.
මරුවාගේ මැදිරිවලට බැසයන මාවතය.

හිතෝපදේශ (7:6-27)



ප්‍රවීණයෙක් වෙන විදිහ


දවසක් සවස රජතුමා  ලිපියක් ලියමින් ඉද්දි,  සුපුරුදු පරිදි සේවකය දැල්වූ ඉටිපන්දමක් අරන් ආවලු මේසෙට තියන්න. කොහොමහරි සේවකයගේ නොසැලකිල්ල නිසා ඉටිපන්දමේ දැල්ල රජතුමාගෙ කොන්ඩෙට වැදිල කොන්ඩෙ එකපාරම ගිනිගත්තලු.
රජතුමා එකපාරම ගිනිදැල්ල ගසාදමල ගින්න නිමුවලු. ඊටපස්සෙ තමුන් කර කර උන්නු වැඩේ දිගටම කරගෙන ගියාලු.
පහුවදා රජතුමා වැඩකරද්දි ඉටිපන්දම අරන් ආවෙ වෙනත් සේවකයෙක්ලු. වෙච්ච සිද්දිය ආරන්චිවෙලා තමුන්ගෙ උපදේශකයින් කලින් උන්නු සේවකයව එලවල තියෙන බව රජතුමාට තේරුම් ගියාලු.

රජතුමාට තමුන්ගෙ කලින් උන්නු සේවකය ගැන ලොකු දුකක් ඇතිවුනාලු. ඔහු තමුන්ගෙ උපදේශකයන් ලඟට ගිහිල්ල කිව්වලු " කලින් උන්නු සේවකයවම එවන්න. මොකද දැන් ඔහු ඉටිපන්දම පරිස්සමට ගෙනත් තියන එක ගැන ප්‍රවීණයෙක් . " කියල.



ස්වර්ගය කෝකද ?


වයසක අංකල් කෙනෙක් තමුන්ගෙ සුරතල් බල්ලත් එක්ක පාරෙ ඇවිදන් යද්දි හදිසි අනතුරක් වෙලා දෙන්නම එතනම මියගියාලු. දැන් දෙන්නගෙම ආත්මයන් දෙක අලංකාර තාප්පයක් අයිනෙන් තියෙන පාරක් දිගේ ඇවිදන් යනවලු. යද්දි ඉස්සරහින් තියෙනවලු රනින් කරපු ලස්සන විශාල ගේට්ටුවක්.

අංකල් ට දැන් හොඳටම විශ්වාසයි ලු තමුං ස්වර්ගයට ඇවිත් කියල. ගේට්ටුවට ඇතුලෙන් උද්්යාන බංකුවක වාඩිවෙල ඉන්නවලු දිවසලු ඇඳගත්තු බොහොම පියකරු මනුස්සයෙක්. අංකල් කතාකරල ඇහුවලු "මේ.. මේක ස්වර්ගයද ? " කියල. අර මනුස්සය හිනාවෙලා උත්තරදුන්නලු " ඔව් මහත්මයා .." කියල.

අංකල්ට හොඳටම තිබහයි ලු . අංකල් ඇහුවලු "මට වතුර ටිකක් බොන්න පුලුවන්ද ?" කියල. "අපොයි පුලුවන්." අර මනුස්සය උත්තර දුන්නලු. විශාල ගේට්ටු දෙක විවරවුනාලු . පිරිසිඳු වතුර වීදුරුවක් ගත්තු සේවකයෙක් එනව අංකල් දැක්කලු. අංකල් තමුන්ගෙ බල්ලත් එක්ක අස්සට එන්න ඇතුල්වුනාලු. එතකොට අර කලින් හිටපු මනුස්සය ටිකක් සද්දෙන් කිව්වලු " මහත්මයා.. අපි බල්ලොන්ව අස්සට ගන්නෙ නේ." කියල.

අංකල්ට මාර අප්සට්ලු. ඇහුවලු "එහෙනන් බල්ලට වතුර ටිකක් ගන්න පුලුවන්ද ?" කියල. අර මනුස්සය උත්තරදුන්නලු "සමාවෙන්න. අපි බල්ලොන්ට වතුර දෙන්නෙත් නෑ." කියල. තමුන්ගේ එකම හිතවතා වෙන සුරතල් බල්ලව දාල යන්න දුක නිසා අංකල් පාර දිගේ දිගටම යන්න පිටත් උනාලු.

ඉදිරියට එද්දි තියෙනවලු ටිකක් අබලන්, ගොවිපලක් වගේ තැනක්. මෙතන්ට ඇතුල්වෙන තැන ගේට්ටුවක්වත් නෑලු. අංකල් බල්ලත් එක්කම ටිකක් ඇතුලට ගියාලු. කිට්ටුව ගහක් යට මනුස්සයෙක් බොහොම නිස්කලංකව පොතක් කියවමින් ඉන්නවලු.
අංකල් ඇහුවලු " මටයි මගේ බල්ලටයි වතුර ටිකක් බොන්න පුලුවන්ද ? " කියල. " අපොයි පුලුවන්, අර නළ ලිඳෙන් ඕනතරං වතුර අරන් බොන්න. එතනම තියෙන භාජනේට වතුර දාල බල්ලටත් වතුර දෙන්න" මනුස්සය කිව්වලු.
අංකල්ට ගොඩක් සන්තෝසයි ලු. අංකල් ඇහුවලු " මේ තැන මොකක්ද ?" කියල. "මේ තමා මහත්මයා ස්වර්ගය.." මනුස්සය උත්තර දුන්නලු.
 "එතකොට අරක ?" අංකල් ඇහුවලු."ආ. ඒක තමා අපාය." කියල මනුස්සය උත්තර දුන්නලු.


පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්



http://sinhala-catholic.blogspot.com