වෘකයින් දෙදෙනාගේ සටන

සීය තම මුණුබුරාට කියල දුන්නලු සෑම මිනිහෙකුගේම ඇතුලාන්තයේ තියෙන සටන ගැන.

" පුතා .. සෑම මිනිසෙකු තුලම වෘකයින් දෙදෙනෙකු සටනක නියලෙනවා .."

"එකෙකු නරකයි. ඌ වෛරය,ඊර්ෂ්‍යාව, දුක, පසුතැවීම, තන්හාව, බොරුව, මමත්වය පිරුනු එකෙක්."

" අනිකා හොඳයි, ඌ ආදරය, සාමය, සතුට, බලාපොරොත්තුව, කරුණාව, සත්‍ය, පරිත්‍යාගය පිරුනු එකෙක්."

" එතකොට සීයෙ සටනින් දිනන්නෙ මොන එකාද ?? " මුණුබුරා ඇහුවලු.

" ඔබ පෝශනය කරන එකා .. " සීය පිළිතුරු දුන්නලු.


මම කව්ද ?

ඔබ ඉදිරියට හමුවන සියල්ලන්
      මිනිසුන් ලෙසම දකින්න.
ඔවුන් මුස්ලිම්, බෞද්ධ හෝ හින්දු ද යන්න අසන්නට
      ඔබේ හදවතට ඉඩ නොදෙන්න.
ඔබගේ ගනුදෙනුව අවසන් කර හැරී යන විට
      ඔබගේම හදවතින් අසන්න
එම හමුවීමේදී ඔබ කිතුනුවෙකු ලෙස හැසිරුනා ද ? නැතිද ?

රජතුමාගේ සිහිනය

අපේ අන්දරේ සහ රජතුමා වගේ ඉන්දියානු ගැමි කතා සම්ප්‍රදායේ  තියෙනව අක්බාර් රජතුමා සහ බිබල් Akbar and Birbal) ගෙ කතා එකතුවක්. මේක ඒවායින් එකක්.

අක්බාර් රජතුමා දවසක් සිහිනයෙන් දැක්කලු, රජතුමාගේ කටේ එක දතක් හැර අන් සියලු දත් හැලී ගොස් ඇති ආකාරය.

රජතුමා තම රාජකීය සිහින තෝරන්නා කැඳවා මෙහි අරුත විමසා සිටියාලු.


මඳ වේලාවක් සිහිනය විමර්ශනය කල සිහින තෝරන්නා පැවසුවාලු " රජතුමනි, මා හට පැවසීමට ඇති අනාවැකිය මඳක් කනගාටුදායක එකක්, මෙම සිහිනයෙහි අරුත ඕබට ප්‍රතම ඔබගේ සියලුම නෑදෑයින් ජීවිතයෙන් සමුගන්නා බවත්, ජීවිතයේ අවසාන කාලයේ ඔබතුමාට හුදකලාව ජීවත් වීමට සිදු වන බවත්  මෙම සිහිනයේ අරුතයි "

මෙම ප්‍රකාශයෙන් රජතුමා දැඩි කලකිරීමට පත් වුනාලු. පසුදින රාජසභාවට පැමිනීම පවා මගහැර තම කාමරයටම වී ශෝකීව, අනාවැකිය ගැන සිහිකරමින් සිටියාලු.

මෙම හැසිරීම කණවැකුනු බිබල් රජතුමා බැහැදැකීමට පැමිනියාලු. බිබල් විමසුවාලු රජතුමාගේ කනස්සල්ලට හේතුව.


රජතුමා සිදුවූ සියල්ල බිබල් හට විස්තර කලාලු.


මඳ සිනහවක් පෑ බිබල් රජතුමාට කිව්වලු " රජතුමනි, මම ඔය සිහිනයේ තේරුම පවසන්නම්. ඇත්තෙන්ම එය ඉතා සුභ සිහිනයක්. මෙහි අරුත ඔබ තුමා ඉතා දිගු කාලයක් ජීවත් වන බවත්, ඔබගේ නෑයින්ට වඩා ඔබ නිරෝහීව දීර්ග ආයුශ ලබන බවත්.  " 

මෙම පිළිතුරෙන් දැඩි සතුටට පත් රජතුමා බිබල් හට තෑගිබෝග ලබාදී පිටත් කර හැරියාලු.

ඉටිපන්දමේ උනුසුම

ශීත කාලයේ සවස් වේලාවක , මුල්ලා තම මිතුරන් දෙදෙනෙක් එක්ක සංවාදයේ යෙදෙමින් සිටියාලු. මුල්ලා කිව්වලු, "මම සීත රාත්‍රියට කැමතියි. මට මුලු රැයම කිසිඳු උනුසුමක් නැතිව එලිමහනේ සිටිය හැකියි " කියල.

මිතුරන් ඔහුට අභියෝග කලාලු " හොඳයි, අද රෑ නගරය මැද ඔබ කිසිඳු උනුසුමක් නැතිව සිටියහොත් , හෙට ඔබට අප විසින් රාත්‍රී ආහාරය සපයනව. ඔබට බැරිවුනොත් ඔබ අපට කෑම ලබා දිය යුතුයි." කිව්වලු.

අභියෝගය බාරගත් මුල්ලා නගරය මැද කුලුන අසල රැය පහන් කලාලු. පසුදා උදේම මුල්ලා තමන්ට අභියෝග කල මිතුරන් සොයා ගියාලු.

මිතුරෙක් පැවසුවාලු  " මුල්ලා, අප ඔබට පැවසුවේ කිසිඳු උනුසුමක් නැතිව රැය පහන් කරන්න. නමුත්, ඔබ අභියෝගය ආරම්බකරන අවස්ථාවේදීම මම දුටුවා මීටර් පන්සියයක් පමන ඈතින් වූ නිවසක ජනේලය අසල ඉටිපන්දමක් දැල්වෙමින් තිබුන අයුරු. ඔබට එයින් උනුනුසුම ලැබුනා. ඉතින් ඔබ අභියෝගය පරාදයි. "

මඳක් නිහඬව සිටි මුල්ලා තම පරාජය බාරගත්තාලු. " හොඳයි , එහෙනම් පොරොන්දු පරිදි අද රෑ කෑම අපේ ගෙදරින් " මිතුරන්ට ආරාධනා කල මුල්ල පිටව ගියාලු.

රාත්‍රියේ මීතුරන් නිවසට පැමිනියාලු. මිතුරන්ට ආසන පැනවූ මුල්ලා , ආහාර පිසීමට මුලුතැන්ගෙට ගියාලු.

පැයක් ගතවුනාලු, පැය දෙකක් ගතවුනාලු.. කිසිඳු කෑමක් නැතිව මිතුරන් බඩගින්නේ සිටිනවලු.

ඉවසීම ඉක්මවූ මිතුරෙක් මුල්ලා සොයා මුලුතැන්ගෙට ගියාලු.

ඔහු දුටුවාලු, කෑම බාජනය ලනුවක ගැටගසා වහලයේ එල්ලා , ඊට යටින් ඉටිපන්දමක් දල්වා ඇති ආකාරය. මුල්ලා පසෙකින් ඉඳගෙන බලන් සිටිනවා ලු.

කෝපයට පත් මිතුරා ඇසුවාලු " මුල්ලා , මොකක්ද මේ කරන්නෙ. ඔබ අද අපට කන්න දෙන්නෙ නැද්ද ? "

මුල්ලා පිලිතුරු දුන්නලු " මඳක් ඉවසන්න, මීටර පන්සියයක් දුරින් වූ ඉටිපන්දමකට මට උනුසුම දෙන්නට පුලුවන් උනානම්, වහලයේ ඇති කෑම හැලිය රත්කිරීමට මේ බිම ඇති ඉටිපන්දමට හැකිබව මට විශ්වාසයි. කෑම පිසුණු සැනින් මම පිළිගන්වන්නම්"


රැවටීමට ආයුශ කෙටිය. ( ලාංකීය දේශපාලනයට අදාල නොවේ :) )



ඉතුරු කිරි ටික


අපේ අන්දරේ සහ රජතුමා වගේ ඉන්දියානු ගැමි කතා සම්ප්‍රදායේ  තියෙනව අක්බාර් රජතුමා සහ බිබල් Akbar and Birbal) ගෙ කතා එකතුවක්. මේක ඒවායින් එකක්.


දවසක් රජතුමා ලොකු රාජ භෝජනයක් සූදානම් කරල බිබල් ඇතුලු පිරිසකට ආරාධනා කලා ලු. බිබල් උත්සවයට ආවෙ අන්තිමටම ගොඩක් පරක්කු වෙලා ලු. මේ ගැන රාතුමා බොහොම කෝප වුනාලු.

රජතුමා කෝපයෙන් ඇහුවලු " ඇයි ඔබ පරක්කු වුනේ ? " කියල.

බිබල් පිළිතුරු දුන්න ලු " මගේ පොඩි එකා හරියට අඬනව, ඌව නළවල එන්න උන නිසයි රජතුමනි ප්‍රමාද වුනේ.. " කියල.

රජතුමා මෙම පිළිතුරෙන් සෑහීමකට පත් වුනේ නෑලු. බිබල්ට පාඩමක් උගන්වන්න හිතපු රජතුමා කිව්වලු " පොඩි එවුන් නළවන්න ඔච්චර අමාරුද බොල. උඹ පොඩි එකා අඬපු විදිහට අඬපන්. මම පෙන්නන්නන් නළවන හැටි" කියල.

බිබල් අඬන්න ගත්තලු " ඔහෑ ඔහෑ.. මට එළදෙනක් ඕනෑ.."

රජතුමා අණකලා ලු එළදෙනක් ගෙනෙන්න.

බිබල් අඬන්න ගත්තලු " ඔහෑ ඔහෑ.. මට එළදෙනගෙන් කිරි ඕනෑ.."

රජතුමා අණකලාලු එළදෙනගෙන් කිරි දොවා බිබල් ට දෙන්න. 

රජතුමාට විශ්වාසයි ලු බිබල් ඉල්ලන ඕනෑ දෙයක් තමාට දිය හැකි බව.

බිබල් ට දුන්නු කිරි වීදුරුවෙන් අඩක් බිබල් බිව්ව ලු. ඉන් පස්සෙ බිබල් ආයෙ ඇඬුවලු.

 " ඔහෑ ඔහෑ.. මේ ඉතුරු කිරි ටික ආයෙ එලදෙනගෙ අස්සට දාන්න ඕනෑ.."


හිඟාකෑම


කාලයක් තිස්සේ පල්ලිය ඉදිරිපිට සිඟමන් යදිම යාචකයෙක් කාටත් සුපුරුදු දසුනක් වුනාලු. අසලින් යන සැමට තම අත දිගුකර යමක් ඉල්ලා සිටීම මොහුගේ පුරුද්ද වුනාලු.

මෙම පල්ලියට නිතර පැමිනෙන පුද්ගලයෙක් දිනක් මෙම සිඟමන් යැදීමේ වෙනසක් දැක්කලු. වෙනදා මෙන් නොව මෙම යාචකයා අත් දෙකම දික් කරමින් , වෙනදාටත් වඩා තම දුක කියමින් සිඟමනේ යෙදෙනවා ලු.

යාචකයාට කිට්ටුකරපු මෙම තැනැත්තා ඇසුවාලු " වෙනදාට එක අතක් දිගුකරමින් සිඟාකන ඔබ ඇයි මේ අද අත් දෙකම දිගුකරමින් වෙනදාටත් වඩා විලාප තියන්නේ ? " කියල.

සිඟන්නා උත්තර දුන්නා ලු " ව්‍යාපාරය සාර්ථක නිසා මම තවත් ශාකාවක් විවෘර්ත කලා .." කියල.


ඉන්න්න විදිහටම එන්න



" ජේසු අපිට කියනවා.. වෙනස් වෙනකන් ඉන්න ඕනෙ නැහැ. දැන් එන්න.
ඇයි එහෙම කියන්නෙ ?

සමහරු ඉන්නව, ඒගොල්ලො කියනව " මම ටිකක් බෝතලේට ඇබ්බැහිවෙලයි ඉන්නෙ.. අත් ඇරපු දවසට මම ඇවිල්ල සේවය කරන්නංකො නියමෙට..." නැද්ද ?
තවත් සමහරු කියනව "මම අර වැරදි සම්භන්ද කමකයි ඉන්නෙ, ඒක මම අත ඇරපු දවසට මම ජේසු ලඟට එන්නංකො "
තවත් සමහරු කියනව මම අර සල්ලි හොයන්නෙ වැරදි විදිහට. පොඩි පගාවක් ගන්නව.. බොස්ට බොරුවක් කරනව. පොඩි හොරයක් කරල.. නැත්තං ජීවත් වෙන්නත් බෑනෙ මේ දවස් වල....
එහෙම නැත්තං මට ඉන්නත් බෑ. මම ඒක ළමයි ලොකු වෙලා අත් ඇරපු දවසට .. මම එන්නං.

එදා වෙනකං තමයි ගොඩාක් අය බලාගෙන ඉන්නෙ.

ඒත් ජේසු කියනව, මොකක්ද කියන්නෙ ? .. ඉන්න විදිහට එන්න. මම ඔබට ගොඩාක් ආදරෙයි. 

උන්වහන්සේ මොකක්ද කියන්නෙ ? දැං එන්න. හැත්තැ පහ වෙනකන් ඉන්න ඕනෙ නැහැ. පිරිමි අය කොන්තෙ කියන්නෙ හැත්තැ පහෙන් පස්සෙ. එතකන් වෙන ඒව කියන්නෙ...ඇයි මැරෙන්න බයයි. අයියෝ.

ඔබට පෙනෙයි ස්වාමීන් වහන්සේ කියනව.. දැං, මේ දැං ඉන්න විදිහට එන්න , මම ඔබට ගොඩාක් ආදරෙයි. ඉතිං සාධාරනව අහන්න පුලුවන් දෙයියනේ මේව කිව්වෙ නැත්තෙ ඇයි ?
අවුරුදු ගනන් කවුරුත් මේක කිව්වෙ නැත්තෙ ඇයි ?
අපිට වෙන දෙයක් කියල දීලයි තියෙන්නෙ. මං කියන්නං කියල දීල තියෙන දේ.. මොකක්ද ඒ ? 
මම කියනකොටම ඒක තේරෙනව ඒක, ඇයි ඒ ? පොඩි කාලෙම මේව ඉගෙන ගත්තෙ.

මම පොඩිකාලෙ හිටියෙ බදුල්ලෙ, ඔක්කොම එකම දේ තමයි අපි ඉගෙන ගත්තෙ..මං කියන ඒවට උත්තර දෙන්න ඕනෙ ආ..
ජේසු ආදරේ කරන ළමයි ජාතියක් ඉන්නව.. නැද්ද ?? මොන ළමයින්ටද ජේසු ආදරේ .. ? ( පසුබිමෙන් පිළිතුරු දෙයි.. :) ) දැක්කනෙ.. 

ජේසු කැමති නැති ළමයි ජාතියක් ඉන්නව. මොනළමයිටද කැමති නැත්තෙ ?  
නරක ළමයින්ට..  ඒ නිසා ජේසුගෙ ආදරේ ලබන්න නන් මොකක්ද කරන්න ඕනෙ ? 

ඔන්න ඕක තමයි (කතෝළික) හැම කෙනාගෙම ආධ්‍යාත්මයේ පදනම. පොඩි කාලෙම ඒක දාල තියෙන්නෙ. නැත්තං මුන්ව පාලනය කර ගන්න බෑ.. නටනව, දඟලනව..
අර ජේසු බලනව.. දඟලන්න ඒපා ජේසු ආදරේ හොඳ ළමයින්ට විතරයි..

ඒ නිසා පරම්පරාවක් හැදුනා.. මොකක්ද ඒ පරම්පරාව ? පල්ලියෙන් එලියෙ පරම්පරාව. දන්නවද ඒගොල්ලො කව්ද කියල. මෙහෙත් ඇති ශුවර් එකටම..  කව්ද ඒ .. ? 
ආගම වෙනුවෙන් මේ අය මැරෙන්නත් ලෑස්තියි. අවශ්‍ය නං මරන්නත් ලැස්තියි. ගහන්නත් ලැස්තියි, ගුටිකන්නත් ලෑස්තියි, කර ගහන්නත් ලැස්තියි, හැබැයි පූජාව පටන් ගත්තු වෙලේ ඉඳං එලියෙ ඉන්නෙ.

කව්ද ඒ ? ඒ අය තමයි පොඩි කාලෙ ඉගෙන ගත්තෙ , ජේසු ආදරේ මොන ළමයින්ටද .. ?

ඒගොල්ලි කියනව අපි කුහක මිනිස්සු නෙමේ, අපි අවංක මිනිස්සු, අපි පව්කාරයො. අපි ජේසුට ආදරෙයි, හැබැයි අපිට පල්ලිය ඇතුලට එන්න විදිහක් නෑ..
අපි එලියෙ ඉඳල පුලුවන් සේවය කරන්නෙ.... "


" ඉන්න්න විදිහටම එන්න " යන තේමාව යටතේ මෙහෙයවන පියවර හතරේ ඥානකාන්තිය මේ වකවානුවේ කතෝළික පල්ලිය මගින් මෙහෙයවන ප්‍රසිද්ධ ආධ්‍යාත්මික වැඩසටහනක්. ඉහත මම උපුටල තියෙන්නෙ පළමු පියවරේ දේශනාවෙන් කුඩා කොටසක්. ප්‍රධාන දේශකයා "ලලිත් තාත්තා" නම් ගිහි පුද්ගලයෙක්. සම්පූර්ණ ඥානකාන්තියම අහන්න උවමනා කෙනෙකුට මෙම ලින්ක් එකෙන් ( http://www.sinhalabible.net/chana-kanthi.html ) සියලුම කොටස් වලට සවන් දෙන්න පුලුවන්.

ජේසු පිහිටයි !!










වැරදිකරු ස්වාමීනී

විත්ති කූඩුවේ සිටි සිරකරුගෙන් ප්‍රධාන විනිසුරු අහනව ලු

" නීතියට පිටින් වැඩකිරීමට මිනිසුන් පෙලඹවීම, සම්ප්‍රදායන් හා අපගේ ශුද්ධවූ ආගමේ ඉගැන්වීම් කඩකිරීමට මිනිසුන් උසිගැන්වීම, යන චෝදනා වලට ඔබ වැරදි කරුද? නිවැරදිකරු ද ?  "

විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු " වැරදිකරු ස්වාමීනී "

නැවතත් විනිසුරු අහනව ලු " අප ආගම අනුගමනය නොකරන විජාතිකයන්, ගණිකාවන්, ප්‍රසිද්ධ පව්කාරයන්, පගා කරුවන්, හොරුන් යන සමාජ විරෝදී පුද්ගලයන් ලඟින් ඇසුරු කිරීම සම්භන්දයෙන් ඔබ වැරදි කරුද ? නිවැරදිකරු ද ? "

විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු " වැරදිකරු ස්වාමීනී "

"අවසාන වශයෙන්, අපගේ ශුද්දවූ ආගම ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම, අපගේ විශ්වාසයන්ට අභියෝග කිරීම යන ක්‍රියා සම්භන්දයෙන් වැරදි කරුද ? නිවැරදිකරු ද ? " විනිසුරු ඇසුවලු


" වැරදිකරු ස්වාමීනී " විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු

විනිසුරු ඇසුවාලු " ඔබගේ නම කුමක්ද ? "

" මගේ නම ජේසුස් "





පරිවර්තනයට උපුටා ගැනීම : - Fr Anthony de Mello's Prayer of the Frog

ගල් ගෝනිය


කඳු මුදුනක තිබූ ගමක ජීවත් වුන ළමයෙකු තම පියා සමග කන්දෙන් බැස පහලට එමින් සිටියාලු. ඔවුන් දෙදෙනා ඉදිරියට හමුවුනාලු බෑවුම දිගේ ඉහලට ගමන් කරන මහල්ලෙක්.

ඔහුගේ කරේ තිබ්බලු තරමක් ලොකු ගෝනියක්.
ඉතා විඩාපත්ව සිටි ඔහු ගමන් කලේ ඉතා අපහසුවෙන් ලු.
ළමයා ඇසුවලු " මොනවද මාමෙ ගෝනියෙ තියෙන්නෙ ? " කියල. මහල්ල පිළිතුරු දුන්න ලු " ගල්.. මගෙ ගෙදර චිමිනිය කැඩිල, ඒක හදන්න පහලින් ගල් අරන් යනව "

ළමය පැවසුවලු " ටිකක් වැඩිපුර ගල් අරන් ගිහිල්ල කලින් තිබ්බට වඩා ලොකු චිමිනියක් හදා ගන්න, එය ඔබව වඩාත් උනුසුම් කරාවි"

" පිස්සුද ළමයො, මේ ගල් ගෙනියන එක ඉතා අපහසු වැඩක් " කේන්තියෙන් පැවසූ මහල්ලා අමාරුවෙන් තම ගමන ඇරඹුවා ලු.

ළමය තව ටිකක් පහලට පැමිනෙන විට, බෑවුම දිගේ ඉහලට එනවලු තවත් මහලු මිනිසෙක්.
වයස , ශරීර ප්‍රමාණය කලින් මහල්ලා වගේමයි ලු. කරේ තියෙනව ලු කලින් මහල්ලා සතුව තිබ්බ තරමේම ගෝනියක්.

නමුත් මෙම මහල්ලාගේ ගමන ඉතා උද්යෝගකරයි ලු. කඩිසරයි ලු. ඔහු ඉතා ප්‍රබෝදමත් ලු.

ළමයා ඔහුගෙනුත් ඇසුවාලු " මොනවද ගෝනියෙ "

මහල්ල සිනා සී පිළිතුරු දුන්න ලු, " දියමන්ති,.. මට දියමන්ති නිධියක් හමුවුනා.. මම මේ ඒ සියල්ල එකතු කරන් ගෙදර යන ගමන්.. "


මේ කතාව මගේ ජීවිතයට ගලපාගත් ආකාරය : අපි කරන පෙලක් ආගමික වතාවත් වුනත් වෙලාවකට මහා වදයක් වගේ හිතිල තියෙනව මට, ඒ සමහර අවස්ථා වල අපි ඒ දේවල් වල නියම වටිනාකම නොදන්නා නිසා වෙන්න පුලුවන්.



මෝඩ මාලුවා

එක විලක සිටියලු මාලු තුන්දෙනෙක්. එකෙක් ඉතා බුද්ධිමත් ලු, අනෙකා අඩක් බුද්ධිමත් ලු, අවසානයා මෝඩයෙක් ලු.

දිනක් මේම වැව අසලට මාලු අල්ලන පිරිසක් ආවලු. මාලු දැලුත් අරගෙන.

මේක දැකපු බුද්ධිමත් මාලුව සිතුවලු " දැන් මෙහි ජීවත්වීම අනතුරුදායකයි. මම කෙසේ හෝ මුහුදට පිහිනා යා යුතුයි. " මෙසේ සිතා මුහුද කරා පිහිනා ගියාලු.

මිනිසුන් දැල් එලා අනෙක් මාලු දෙදෙනා දැලට කොටුවුනාලු.

අඩක් බුද්ධිමත් මාලුව සිතුවලු " අපරාදෙ, මටත් කලින්ම මුහුදට පිහිනා යන්නයි තිබුනෙ.. මම මැරුන මාලුවෙක් ලෙස හැසිරෙනව. එවිට යම් ගැලවීමක් ලැබේවි." මෙසේ සිතා ඌ උඩබෙලි අතට දියේ පාවෙන්නට ගත්තාලු.

මෙම මාලුවා දුටු මිනිසෙක් ඌ මළ එකෙකු බව සිතා වලිගයෙන් ඔසවා ඈතට විසි කලා ලු. මාලුවා මුහුද ට පිහිනා ගියාලු.

දැලට කොටුවූ මෝඩ මාලුවාව රත් වූ තැටිය කරා රැගෙන ගියාලු, රත්වූ තැටිය මතදී ඌ සිතුවාලු " මම මෙයින් මිදුනහොත් නැවත ජීවත් වීමට කිසිදා මෙම විල තෝරා නොගනිමි. මම නැවත ජීවත් වන්වා නම් මුහුද මාගේ නිවහන කොට ගනිමි.. "

ඇඳෙන් බිමට


තවත් මුල්ලා නසරුඩීන් කතාවක්.

මුල්ලා කසද බැන්ද ලු. ඇය කලින් සැමියා මියගිය කාන්තාවක් හෙවත් වැන්දඹුවක්.

යහපත් බිරිඳක් වුනත් ඇය නිතරම තමන්ගේ මියගිය සැමියා සිහි කරනව ලු. ඔහු කල දේ කියනව ලු. ඔහු සිටියනම් කල හැකිව තිබූ දේ කියනව ලු.

දිනක් රාත්‍රී යහනේදී ඇය තම මියගිය සැමියා ගැන කතා කරන්න ගත්ත ලු. මුල්ලා එකවරම ඇයව ඇඳෙන් බිමට තල්ලු කලා ලු.

මෙයින් කෝපයටත් කලකිරීමටත් පත් කාන්තාව , සිද්ධිය තම පියාට පැමිණිලි කලා ලු.

බලපුලුවන් කාරයෙකු වූ එම පියා මුල්ලාව උසාවියට කැඳවා කල වරදට නිදහසට කරුනු විමසුවාලු.

එවිට මුල්ල අහිංසක ලෙස පිළිතුරු දුන්නලු " මම තල්ලු කලේ නෑ, ඇඳ මත තිදෙනෙකු හිටියා.. ඇයට ඉඩ මදි නිසා බිමට වැටෙන්න ඇති .. "

පිරිච්ච කළගෙඩියක් වගේ


" සාස්ත්‍රය එක්ක බොරු කරන්න එපා. එතකොට සාස්ත්‍රය පිහිටන්නෙ නෑ. 
පොතට වැන්දට සාස්ත්‍රය පිහිටන්නෙ නෑ. මහන්සි වෙලා පොත කියවලා තේරුම් ගැනීමයි නිතරම කල යුත්තේ. 
සාස්ත්‍රය ගෑඹුරට ලබාගන්න තනියම ඉගෙන ගන්ඩ ඕනෑ. තනියම ඉගෙනීම කියන්නෙ  පොත් කියවීමයි. 
හිත නිතරම පිරිසිඳු වීදුරුව වගේ තියාගන්ඩ ඕනෑ. කිසි දේකට කලබල වෙන්ඩ නාකයි. 
ගමන යන්ඩ ඕනෑ හෙමින්. බොහොම හෙමින්. 
එතකොට හරි දුර යන්ඩ පුලුවන්. 
දැනීම ඈතුව සෑහෙන දුරක් ගමන් කලාට පස්සෙ තමන්ට හිතෙන දේවල් නරක නෑ කියල නිසි තීන්දු ගන්ඩ පුලුවන් නන් ඒ තීන්දුව ගන්ඩ ඕනෑ. 
බොරුකාරයෙක් වෙන්ඩ එපා. 
බොරුකාරය කියන්නෙ හරියට දෙයක් දන්නෙ නැතුව දන්න්වා වගේ වැඩ කරන කෙනයි. යන්තං සන්තං දැනීම කියන්නෙ වස නරක තත්වයක්. 
තමන් යමක් දන්න බව තමන්ම තනියම තහවුරු කරගන්ඩ ඕනෑ. 
විභාග වලට උත්තර ලියලා කඩදාසියක් ලබා ගත්තට දන්නවා කියලා අහංකාර වෙන්ඩ නාකයි. කඩදාසි ගත්තට පස්සෙ වගකීම වැඩි බව තේරුම් ගන්ඩ ඕනෙ. 
කැපී පේන්ඩ වැඩ කරන්ඩ නාකයි. 
මහ හුඟාක් වැඩ කරන්න ඕනෑත් නෑ. ටිකක් කලාම ඈති. කරන දේ හරියට කරන්ඩ ඕනෑ. 
හොඳට තෑම්පත් වෙන්ඩ ඕනෑ. 
පිරිච්ච කළගෙඩියක් වගේ... " 


උපුටාගෑනීම : අතීතය ගුරුවරයෙකි (ISBN-978-955-652-414-7)  :-  මහාචාර්ය සරත් විජේසූරිය

මම මේ දවස් වල කියවන පොතක්. කියවල බලන්න, ජීවිතයට වෑදගත් වේවි.