ඉටිපන්දමේ උනුසුම

ශීත කාලයේ සවස් වේලාවක , මුල්ලා තම මිතුරන් දෙදෙනෙක් එක්ක සංවාදයේ යෙදෙමින් සිටියාලු. මුල්ලා කිව්වලු, "මම සීත රාත්‍රියට කැමතියි. මට මුලු රැයම කිසිඳු උනුසුමක් නැතිව එලිමහනේ සිටිය හැකියි " කියල.

මිතුරන් ඔහුට අභියෝග කලාලු " හොඳයි, අද රෑ නගරය මැද ඔබ කිසිඳු උනුසුමක් නැතිව සිටියහොත් , හෙට ඔබට අප විසින් රාත්‍රී ආහාරය සපයනව. ඔබට බැරිවුනොත් ඔබ අපට කෑම ලබා දිය යුතුයි." කිව්වලු.

අභියෝගය බාරගත් මුල්ලා නගරය මැද කුලුන අසල රැය පහන් කලාලු. පසුදා උදේම මුල්ලා තමන්ට අභියෝග කල මිතුරන් සොයා ගියාලු.

මිතුරෙක් පැවසුවාලු  " මුල්ලා, අප ඔබට පැවසුවේ කිසිඳු උනුසුමක් නැතිව රැය පහන් කරන්න. නමුත්, ඔබ අභියෝගය ආරම්බකරන අවස්ථාවේදීම මම දුටුවා මීටර් පන්සියයක් පමන ඈතින් වූ නිවසක ජනේලය අසල ඉටිපන්දමක් දැල්වෙමින් තිබුන අයුරු. ඔබට එයින් උනුනුසුම ලැබුනා. ඉතින් ඔබ අභියෝගය පරාදයි. "

මඳක් නිහඬව සිටි මුල්ලා තම පරාජය බාරගත්තාලු. " හොඳයි , එහෙනම් පොරොන්දු පරිදි අද රෑ කෑම අපේ ගෙදරින් " මිතුරන්ට ආරාධනා කල මුල්ල පිටව ගියාලු.

රාත්‍රියේ මීතුරන් නිවසට පැමිනියාලු. මිතුරන්ට ආසන පැනවූ මුල්ලා , ආහාර පිසීමට මුලුතැන්ගෙට ගියාලු.

පැයක් ගතවුනාලු, පැය දෙකක් ගතවුනාලු.. කිසිඳු කෑමක් නැතිව මිතුරන් බඩගින්නේ සිටිනවලු.

ඉවසීම ඉක්මවූ මිතුරෙක් මුල්ලා සොයා මුලුතැන්ගෙට ගියාලු.

ඔහු දුටුවාලු, කෑම බාජනය ලනුවක ගැටගසා වහලයේ එල්ලා , ඊට යටින් ඉටිපන්දමක් දල්වා ඇති ආකාරය. මුල්ලා පසෙකින් ඉඳගෙන බලන් සිටිනවා ලු.

කෝපයට පත් මිතුරා ඇසුවාලු " මුල්ලා , මොකක්ද මේ කරන්නෙ. ඔබ අද අපට කන්න දෙන්නෙ නැද්ද ? "

මුල්ලා පිලිතුරු දුන්නලු " මඳක් ඉවසන්න, මීටර පන්සියයක් දුරින් වූ ඉටිපන්දමකට මට උනුසුම දෙන්නට පුලුවන් උනානම්, වහලයේ ඇති කෑම හැලිය රත්කිරීමට මේ බිම ඇති ඉටිපන්දමට හැකිබව මට විශ්වාසයි. කෑම පිසුණු සැනින් මම පිළිගන්වන්නම්"


රැවටීමට ආයුශ කෙටිය. ( ලාංකීය දේශපාලනයට අදාල නොවේ :) )



ඉතුරු කිරි ටික


අපේ අන්දරේ සහ රජතුමා වගේ ඉන්දියානු ගැමි කතා සම්ප්‍රදායේ  තියෙනව අක්බාර් රජතුමා සහ බිබල් Akbar and Birbal) ගෙ කතා එකතුවක්. මේක ඒවායින් එකක්.


දවසක් රජතුමා ලොකු රාජ භෝජනයක් සූදානම් කරල බිබල් ඇතුලු පිරිසකට ආරාධනා කලා ලු. බිබල් උත්සවයට ආවෙ අන්තිමටම ගොඩක් පරක්කු වෙලා ලු. මේ ගැන රාතුමා බොහොම කෝප වුනාලු.

රජතුමා කෝපයෙන් ඇහුවලු " ඇයි ඔබ පරක්කු වුනේ ? " කියල.

බිබල් පිළිතුරු දුන්න ලු " මගේ පොඩි එකා හරියට අඬනව, ඌව නළවල එන්න උන නිසයි රජතුමනි ප්‍රමාද වුනේ.. " කියල.

රජතුමා මෙම පිළිතුරෙන් සෑහීමකට පත් වුනේ නෑලු. බිබල්ට පාඩමක් උගන්වන්න හිතපු රජතුමා කිව්වලු " පොඩි එවුන් නළවන්න ඔච්චර අමාරුද බොල. උඹ පොඩි එකා අඬපු විදිහට අඬපන්. මම පෙන්නන්නන් නළවන හැටි" කියල.

බිබල් අඬන්න ගත්තලු " ඔහෑ ඔහෑ.. මට එළදෙනක් ඕනෑ.."

රජතුමා අණකලා ලු එළදෙනක් ගෙනෙන්න.

බිබල් අඬන්න ගත්තලු " ඔහෑ ඔහෑ.. මට එළදෙනගෙන් කිරි ඕනෑ.."

රජතුමා අණකලාලු එළදෙනගෙන් කිරි දොවා බිබල් ට දෙන්න. 

රජතුමාට විශ්වාසයි ලු බිබල් ඉල්ලන ඕනෑ දෙයක් තමාට දිය හැකි බව.

බිබල් ට දුන්නු කිරි වීදුරුවෙන් අඩක් බිබල් බිව්ව ලු. ඉන් පස්සෙ බිබල් ආයෙ ඇඬුවලු.

 " ඔහෑ ඔහෑ.. මේ ඉතුරු කිරි ටික ආයෙ එලදෙනගෙ අස්සට දාන්න ඕනෑ.."