විහිලු කතාවක්


දවසක් බිරිඳ ගෙදර එන්න වෙනදට වඩා ටිකක් පරක්කු වුනාලු. හෙමින් අඩි තියමින් නිදන කාමරයට ඈ ආපු ගමන් දැක්කලු ඇඳේ පොරෝනයට යටින් කකුල් සතරක් එලියට ඇවිල්ල තියෙනව.

දැඩි කෝපයට පත් කාන්තාව, ලොකු පොල්ලක් අරගෙන තම උපරිම ශක්තිය යොදල අර පොරෝනයට පහර දීගෙන දීගෙන ගියාලු.

විඩාව සහ මානසික පීඩනය නිසා ඇය කුස්සිය දෙසට ගියාලු මොනව හරි බොන්න. එවිට ඇය දුටුවාලු තමුන්ගේ සැමියා පත්තරයක් බලමින් පුටුවක් උඩ ඉන්නව.

බිරිඳ දෙස බලපු සැමිය ඇහුවලු " ආ ... ඩාලිං. ඔයාගෙ අම්මල අපිව බලන්න ආව, ඉතිං මම කිව්ව ඒ අයට අපේ ඇඳේ නිදාගන්න කියල, ඔයාට එයාලව මුනගැහුනද ? "

කතාවේ ආදර්ශය : "  සැමවිටම ඔබගේ සැමියා විශ්වාස කරන්න ""


( මෙය හුදෙක් විනෝදය සඳහා ලියූවක් මිස, මාවෙත එල්ල වන විවාහ පීඩනයට මෙම කතාවේ කිසිඳු සම්භන්දයක් නොමැති බව මා ප්‍රියාවිය වෙත දන්වා සිටිමි. :)  )



ඊ ලිපියක දුටු කතාවකි


නිවසට පැමිනි හිඟන්නා


එක්තරා ධාර්මික මනුස්සයෙක්ගෙ ගෙදරට මහලු හිඟන්නෙක් ආවලු. හිඟන්නා ගැන අනුකම්පා හිතුන මිනිහ, තමුන් එක්ක රෑ කෑම ගන්න එන්න කියල හිඟන්නට ආරාධනා කලා ලු.

මේ හිඟන්න ආපු වෙලේ ඉඳන් දෙවියන් වහන්සේට බනිනවලු, තමන්ට නොදුන් දේ ගැන දෙවියන්ට සාප කරනවලු.

දෙවියන්ට ගොඩක් ආදරේ කරපු ගෙහිමියට මේ මනුස්සයගෙ හැසිරීම නිසා ඔහුව එපා වුනාලු. ඔහු හිඟන්නාට කෑම නොදීම , ඔහුව එලවල දැම්මලු.

එදා රාත්‍රියේ , මේ ධාර්මික මනුස්සයට පලමු වතාවට දෙවියන් වහන්සේ කතා කලාලු. කතා කරල කිව්වලු
"අර මනුස්සය මට අපහස කරද්දිත්, මට සාප කරද්දිත්, අවුරුදු පනහක් පුරාවට මම ඔහුට හෑමදාම කන්න්න දුන්න, ඔබට බැරිවුනා ඔහුට එක වේලක් කන්න දෙන්න.. " කියල.


පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello




දුව සහ පුතා


දවසක් කාන්තාවන් දෙන්නෙක් ගොඩ කාලෙකින් මුන ගැහුනලු. පලමු කාන්තාව ඇහුවලු " පුතා බැන්ද නේ ? දැන් කොහොමද පුතාට ?"   කියල.

මූන අඳුරු කරගත්තු අනික් කාන්තාව පිලිතුරු දුන්නලු " හරිම කරදරේක නෙ මගෙ පුතා වැටුනෙ, ඒ බැන්ද ගෑනි උයන්නෙ නෑ, ගේ සුද්ද කරන්නෙ නෑ, රෙදි හෝදන්නෙ නෑ.. දවසම නිදාගන්නව. 
කොටින්ම මගේ අසරන පුතාට තමයි උදේ කෑම එක පවා හදල ඒ ගෑනිට කන්න දෙන්න වෙලා තියෙන්නෙ"  කියල.


මේ අඳෝනාව අහපු කලින් ගෑනුකෙනාම ඇහුවලු " එතකොට දුව "

එතකොට අර ගෑනුකෙනාම පිලිතුරු දුන්නලු " අනේ .. දුවට නං හම්බෙලා තියෙන්නෙ රත්තරං මහත්තයෙක්. ඒ ළමය ගේ සුද්ද කරනව, රෙදිත් හෝදල දෙනව, කොටිම්ම උයල කෑම එක දුවගෙ ලඟට ගෙනල්ලම දෙනව. මගෙ දුව නං හරිම වාසනාවන්තයි" කිව්වලු.



පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello

අපිට ඇති කරදර


ජේසුස් වහන්සේගේ වචන, ශු.බයිබලයෙන් උපුටාගැනීමකි.

" එහෙයින් මම ඔබට කියමි: කුමක් කමුද, කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න.කෑමට වඩා ජීවිතයද , ඇඳුමට වඩා ශරීරයද අගනේ නොවේද ?

අහසේ කුරුල්ලන් දෙස බලන්න.උන් වපුරන්නේවත්, කපන්නේවත්, අටුවල රැස්කරන්නේවත් නැත. එහෙත් ඔබේ ස්වර්ගීය පියානන් වහන්සේ උන් පෝශනය කරන සේක.ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නොවේද ?

කරදර වීමෙන් තමාගෙ ආයු ප්‍රමානය දික්කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුලුවන්ද ?


ඔබේ ඇඳුම් ගැන කරදර වන්නේ කුමටද ? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටිනේවත් නැත. එහෙත් සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමොන් වුවද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේයැයි මම ඔබට කියමි.


ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උඳුනේ දමන කෙතේ තණකොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක්නම්, ඊට කොපමන වැඩියෙන් උන්වහන්සේ ඔබ නොසරසන සේක්ද?

එබැවින් කුමක් කමුද, කුමක් බොමුද, කුමක් අඳිමුද, කියමින් කරදර නොවන්න. විජාතීන් සැමවිටම සොයන්නේ මේවාමය. මේවා ඔබට ඕනැබව ඔබේ ස්වර්ගීය පියානන් වහන්සේ දන්නාසේක,

එහෙත් පලමුකොට උන්වහන්සේගේ රාජ්්යද,ධර්මිෂ්ටකමද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනුලැබේ.

එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ.- එක දවසක කරදර වලට තව කරදර එකතු නොකරන්න. "

(මතෙව් 6:25-34)





මම අමුත්තෙක්




ශිෂ්‍යයෙක් තමුන්ගේ ගුරුතුමාව මුනගැහෙන්න ඔහුගේ ගෙදරට ගියාලු. ගෙදර හැමතැනම තිබ්බෙ පොත් ලු. එකම එක මේසෙකුයි පුටුවකුයි තිබ්බලු. වෙන කිසිම දෙයක් ගෙදර තිබ්බෙ නෑලු.

ඉතින් මේ  ශිෂ්‍යයා ගුරුතුමාගෙන් ඇහුවලු " කෝ ගුරුතුමනි ගෙදර ගෘහ භාන්ඩ ?" කියල.

ගුරුතුමා ඇහුවලු " කෝ ඔබගේ ගෘහ භාන්ඩ ?" කියල.

ශිෂ්‍යයා පිලිතුරු දුන්නලු " ගුරුතුමනි,  මම මේ ගෙදරට ඇවිල්ල යන්න ආපු අමුත්තෙක් පමනයි" කියල.

එතකොට ගුරුතුමා කිව්වලු "මමත් එහෙමමයි " කියල.


පරිවර්තනයට උපුටා ගැනීම : http://www.spiritual-short-stories.com/spiritual-short-story-71-Only+A+Visitor.html