මැරුණ පුතා


කලබලකාරී නගර මධ්‍යය, ගිණිගහන දවාලේ
මිනිසුන් පිරිලා එක තැනක. සිද්දිය බලන්න හැමෝම පොරකනව. කියනව ඇහෙනව " හැප්පිලා" , "මැරිල" , "පාර පනිද්දි නෙ වෙලා තියෙන්නෙ" , "පව් වැඩේ .."

මේ වෙලාවෙ මෙතනින් යනව පත්තර වාර්තාකරුවෙක්. ඔහු හිතනව "ෂා .. මරු නිව්ස් එක, කොහොමහරි ෆොටෝ එකක් ගන්න ඕන." ඒත් කොහෙ කිට්ටු කරන්නද. මිනිස්සු පොරකනව.

මිනිහට ආව හොඳ අදහසක්. කෑගහල දුකඳෝනාවක් තියන්න ගත්ත. "අනේ මගේ පුතා.. මගේ පුතා තමයි හැප්පිලා තියෙන්නෙ..".

මිනිස්සු ක්ශනිකව ඉඩදුන්න මේ මනුස්සයට. ඔහු සෙනඟ අතරින් ඉදිරියටම ගියා.
ලේ විලක් මැද මැරිල වැටිල උන්න තඩි බූරුවෙක්.



අපේ ජීවිතෙත් මෙහෙම දේවල් වෙනව සමහර වෙලාවට. ලබාගන්න ආසාවෙන් පොරකාගෙන, බොරු කියාගෙන, අනික් අය පාගගෙන, ලබාගන්න දඟලන පෙලක් දේවල් මහ පුස් දේවල්. ඒක පුස්සක් බව කලින්ම දකින්න පුලුවන් නං කොච්චර ලේසිද ?



පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello
පොත ගැන දැනගත්තෙ මෙතනින්

නැන්දම්මා සහ ලේලිය

සැමියා : මට අද අම්ම කතා කලා. අම්ම හෙට පාන්දර 4 ට ස්ටේශන් එකට එනව කිව්ව.

බිරිඳ : ආ.. එයා අන්තිමට ආවෙ මාස 4 කට විතර කලින් නේද ? හෙට ඉරිද නිසා මම ටිකක් දවල් වෙනකන් නිදාගන්න හිතන් උන්නෙ, ඒත් දැන් ඔයාලගෙ අම්ම එනවලු, ඊටත් හපන් පාන්දර 4 ට. අනික  ටැක්සියක්වත් කොහෙන්ද අනේ හොයා ගන්නෙ ඔය වෙලාවට.

සැමියා : ම්ම්.. අපේ අම්ම නෙමේ අනේ එනව කිව්වෙ. ඔයාලගෙ අම්ම.

බිරිඳ : අනේ... අම්ම එනවද ? දැං මාස දෙකකටත් වැඩියි මම අම්මව අන්තිමට දැකල. අහන්නකො අනේ.. මම දන්න ටැක්සි කාරයෙක් ඉන්නව, මම එයාට කෝල් කරල කියන්නන් හෙට උදේට ස්ටේශමට යන්න කියල. හෙට ඉරිද හින්ද අම්ම එන එක හොඳයි, ළමයිනුත් ගෙදර නෙ. එයාලට ඒගොල්ලොන්ගෙ ආච්චි එක්ක සෙල්ලං කරන්නත් පුලුවන්..

අහිමිවුනු ඇඟිල්ල


දවසක් රජ කෙනෙක් තමුන්ගේ වහලෙකුත් සමග මුව දඩයමේ ගියාලු. කැලේ මැදදි මේ දෙන්නට කැලේ හිටපු දරුණු කොටියෙක් පහර දුන්නලු. දෙන්නම කොටියත් එක්ක පොරබදල කොහොම හරි කොටියව මරල දැම්මලු. නමුත් සටන අවසානයේදි රජතුමාගෙ එක ඇඟිල්ලක් අහිමි වෙලා තිබ්බලු.

මේක දැකල කලකිරීමට පත්වුන රජතුමා දෙවියන්ට මැසිවිලි තියන්න ගත්තලු " අහෝ, දෙවියනි.. ඔබ මගේ ඇඟිල්ලක් අහිමි කෙරෙව්ව, ඇයි ඔබ එහෙම කලේ .. ? " ආදී වශයෙන්.

දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුන වහලා කිව්වලු, "එහෙම කියන්න එපා රජතුමනි, අප ජීවත් වන එක ගැන දෙවියන්ට අප ස්තූතිවන්ත විය යුතුයි.." කියල. තමන්ගේ වහලාගේ මේ එකට එක කීමෙන් දැඩි කෝපයට පත් රජතුමා නියෝගකලාලු වහලාව සිරගත කරන්න.

තව දවසක් රජතුමා දඩයමේ යද්දි , දරුනු මිනීමරු වනචාරීන් රැලකට අහුවුනාලු. මොවුන් මිනිසුන්ව බිලිපූජා වලට යොදාගන්නා ගෝත්‍රයක් ලු. රජතුමා දෙස හොඳින් බලපු ගෝත්‍රික නායකය, රජතුමාගේ ඇඟිල්ලක් අඩු බව දැක්කලු. තමන් බිලි පූජාවට යොදාගන්නේ සම්පූර්න මිනිසුන් පමනක් නිසා , මොවුන් රජතුමාව නිදහස් කරාලු.

මේ සිද්දියෙන් කම්පනයට පත් රජතුමා කෙලිම්ම ආවලු, හිරේ ඉන්න අර වහලාව හම්බෙන්න. ඇවිත් කිව්වලු, "දෙවියන් වහන්සේ මාගේ ඇඟිල්ලක් අහිමි කර ජීවිතය බේරා දුන්නා, නමුත් එතුමන් ඔබව නිකරුනේ බොහෝ කාලයක් හිරේ තැබුවා. ඒ ඇයි ? " කියල.

වහලා කිව්වලු, " ඒ එය එසේ නොවුනානම්, මමද ඔබ සමග දඩයමේ ගොස් , වනචාරීන්ගේ බිලීපූජාව මම වීමට ඉඩ තිබුනු නිසා .."  කියල.


අනාගතය කුමක් වේදැයි කිසිවෙකු නොදනී, අද සිනහව හෙට කඳුලට ද, අද කඳුල හෙට දින සිනහවටද හේතුවිය හැක.


පරිවර්තනයට උපුටා ගැනීම මෙතනින්


පොට්ට මුවා


එක කැලෑවක හිටියලු පොට්ට මුවෙක්. පොට්ටයි කිව්වට මුගෙ එක ඇහැක් තමාලු පේන්නෙ නැත්තෙ. ඒ කියන්නෙ පේන්නෙ එක පැත්තක් විතරයි. මොකද මුවන්ගෙ ඇස් තියෙන්නෙ මූනෙ දෙපැත්තට වෙන්නනෙ.

ඉතින් දඩයක් කාරයොන්ගෙන් බේරෙන එක ලොකු ප්‍රශ්නයක් වුනාලු මේ මුවාට. මේකෙන් බේරෙන්න මුවා කරන්නෙ, තණකොල කන්න යනවලු මුහුද අයිනෙ තියෙන ප්‍රපාතයක් අයිනට. තමුන්ගෙ හොඳ ඇහැ තණ පිට්ටනිය පැත්තට හිටින්න හිටගන්නවලු. දිගටම තණකොළ කන්නෙ මේ දිශාවට ඉඳගෙන ලු. මොකද එන දඩයක්කාරයෙක් එන්නෙ තණ පිට්ටනිය පැත්තෙන් නිසා.

එන කෙනෙක්ව එද්දි පේනව. පැනගන්න පුලුවන්.

කොහොම හරි මුව දඩයමේ එන දඩයක්කාරයෙක් මේ රහස දැනගත්තලු. මිනිහ බෝට්ටුවකින් මුහුද පැත්තෙන් මුවා කිට්ටුවටම ගිහිල්ල ගිහිල්ල, බොහොම ලේසියෙම්ම මුවාව දඩයම් කරගත්තලු.

ජීවත් වෙන්න මොන දේ කලත්,මොන සෙල්ලම දැම්මත්, කවද හරි හැම කෙනෙක්ම මැරෙනව...

" නියමිත මොහොත කවදාදැයි ඔබ නොදන්නා බැවින්, අවදිව ඉන්න. "   (මාක් 13:33)


sinhala-catholic.blogspot.com
උපුටාගැනීම : 100 Moral Stories by Akramulla Syed

පව්කාරියට ගල් ගැසීම.


මේකත් ජේසුස් වහන්සේගේ ජීවිතේ සිද්දවුනු පොඩි සිදුවීමක්. මේ කතාව හැම කතෝළිකයෙක්ම දන්නව. නමුත් අපේ උදවියට ජීවත්වෙද්දි මේ ඉගැන්වීම් අමතකවීමේ සොභාවයක් තියෙන නිසා බ්ලොග් එකේ ලියන්න හිතුන.

ජේසු තමුන්ගෙ පාඩුවෙ නිස්කලංකව ඉන්න වෙලාවක, ජුදා පූජකයො පිරිසක් වරදෙහි හැසිරෙමින් ඉන්නවිටම අල්ලාගත් ගණිකාවක් අරගෙන එනව ජේසු ගාවට. ආගමික නීතිය අනුව දඬුවම ගල්ගසා මැරීම.

පූජකයො ජේසුගෙන් අහනව , " මැය කාමමිත්්යාචාරය කරද්දීම අසුවුන කෙනෙක්, අපි ගල් ගසා මැය මරා දැමීම නේ කල යුත්තේ ? " කියල.


එතකොට ජේසු කියනව " ඔබ අතරින් පවක් නොමැති තැනැත්තා පලමු ගල ගසන්න. " කියල.

ගල්ගහන්න ආපු කට්ටියගෙන් එකා එකා හෙමීට එතනින් මාරුවෙනව.

අන්තිමේ ඉතුරු වෙන්නෙ ජේසුයි අර ගෑනුකෙනයි විතරයි.

ජේසු අහනව , " ස්ත්‍රීය , ඔවුන් කොහේද? කිසිවෙකු ඔබට වරද තැබුවේ නැද්ද ? " කිය.

ගෑණු කෙනා කියනව " නැත ස්වාමිනී " කියල.

ජේසු කියනව " මමද ඔබපිට වරද නොතබමි, යන්න ,  මින්පසු පව් නොකරන්න " කියල.

ඉතින් ලෝකෙ ඉන්න අනික් හැම එකාටම ගල් ගහන්න බලන් ඉන්න අපේ උදවියටත් කියන්න තියෙන්නෙ, අනුන්ගේ වැරදි හොයන්න ඉස්සර, තමුන්ගේ හෘදසාක්ශියේ, ආධ්්යාත්මක ගවේශනයක් කරල බලන්න කියලයි.

මේ සිදුවීමේ අපූරු ප්‍රතිනිර්මානයක් හම්බුනා YouTube  එකෙන්. අනිවා බලන්න.